Jump to content

වාණිජ බැංකු

විකිපීඩියා වෙතින්

බැංකු යනු විවිධ ආකාරයට නිර්වචනය කොට ඇති ආයතන විශේෂයකි. බැංකුවක ප්‍රාථමික කටයුත්ත වන්නේ මුදල් ණයට ගැනීම හා මුදල් ණයට දීමයි. මේ අනුව බැංකුවක් යනු මුදල් හා ණය පිළිබඳ ගණුදෙනු කරන වෙළෙන්ඳෙකු ලෙස හදුන්වා දීමට පුළුවන. දීර්ඝ කාලයක් පුරා වර්ධනය වීමෙනුත්,විශේෂීකරණය වීමෙනුත් අද වන විට බැංකු විවිධ සේවා සපයන ආයතන බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු,උකස් බැංකු, ආයෝජන බැංකු,ඉතුරුම් බැංකු, නිවාස බැංකු, අපනයන බැංකු, ග්‍රාමීය බැංකු අදී විශේෂිත බැංකු බිහිවී තිබේ.

මේවා අතරින් වැදගත්ම සහ ප්‍රමුඛම මූල්‍ය ආයතන ලෙස වාණිජ බැංකු හැදින්විය හැකිය. ඊට හේතුව බොහොමයක් රටවල පැරණිතම මූල්‍ය සහ රටේ මූල්‍ය ආයතන අතරින් රටේ මූල්‍ය වත්කම්වලින් වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින ආයතන බවට වාණිජ බැංකු පත්ව තිබීමයි. මීට අමතරව පොදු ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව සමඟ වැඩි වශයෙන් සමීපව කටයුතු කරන වාණිජ බැංකු වෙළඳ හා වාණිජ කටයුතු වලත් මුදල් ආර්ථිකයේත් ජීව රුධිරය බවට පත්ව තිබේ.

වාණිජ බැංකු

[සංස්කරණය]

වාණිජ බැංකු යනු මූලික වශයෙන් ලාභ ඉපයීමේ පරමාර්ථය සහිතව මූල්‍ය අතරමැදිකරණ කාර්යයේ නිරත සංවිධිත කොටස් සමාගම් ක්‍රමයකි.වාණිජ බැංකුවක් ඉතුරුම්,ස්ථාවර,ජංගම තැන්පතු යන ඕනෑම තැන්පතු වර්ගයක් භාරගනු ලැබුවද, වාණිජ බැංකුවක් පිළිබඳ නිර්වචනය සපයනු ලබන්නේ ජංගම තැන්පතු මඟිනි. මේ අනුව, "චෙක්පතකින් හෝ විධානයකින් හෝ අන්‍ය ආකාරයකින් හෝ ඉල්ලූ විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත්ව මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීම සිය ප්‍රධාන කාර්යය කර ගත් මූල්‍ය ආයතන විශේෂය වාණිජ බැංකු ලෙස හදුන්වයි." ඒ අනුව වෙනත් මූල්‍ය ආයතන හා වෙනත් බැංකු සහ වාණිජ බැංකු අතර ප්‍රධානතම වෙනස්කම වන්නේ වාණිජ බැංකු පොලී රහිත ජංගම පවත්වා ගනිමින් චෙක්පත් භාවිතයෙන් ගණුදෙනු කටයුතු කිරීමයි.

මීට අමතරව තවත් ප්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ආර්ථිකයක මුදල් මැවීමේ ක්‍රියාවලියට හා විදේශ විනිමය ගණුදෙනුවලට වාණිජ බැංකු සම්බන්ධ වීමයි. ඒ අනුව, "වාණිජ බැංකුවක් යනු ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් පවත්වා ගෙන යමින් මදල් මැවීමට හැකියාව ඇති, විදේශ විනිමය ගණුදෙනුවල යෙදෙන මූල්‍යායතන විශේෂයකි."

වාණිජ බැංකු කටයුතු නෛතික වශයෙන් ද හදුනාගෙන තිබේ. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතෙහි 86 වන වගන්තියට අනුව බැංකු ව්‍යාපාරය පොදුවේ හදුන්වා ඇත්තේ මෙලෙසිනි. "බැංකු ව්‍යාපාරය යන්නේ ඉල්ලු විට චෙක්පත්, අණකර, ඇණවුම් මඟින් හෝ අන්‍යාකාරයෙන් ගෙවිය යුතු මුදල් තැන්පතු පිළිගැනීමේ මාර්ගයෙන් මහජනයාගෙන් අරමුදල් ලබාගැනීමේ ව්‍යාපාරය සහ ඒ අරමුදල් සම්පූර්ණයෙන් හෝ කොටස්වලින් අත්තිකාරම්, ආයෝජන හෝ නීතියෙන් හෝ සාම්ප්‍රදායික බැංකු පිළිවෙත්වලින් බලය ලැබුණු වෙනත් යම් මෙහෙයුම් සඳහා යෙදවීම අදහස් වේ."

වාණිජ බැංකුවල ප්‍රධාන අරමුණු

[සංස්කරණය]

1.ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම

[සංස්කරණය]

වාණිජ බැංකු එදිනෙදා ගණුදෙනු සඳහා මුහුණ දීමේ හැකියාව මින් අදහස් වේ. ගණුදෙනුකරුවන් තුල බැංකුව පිළිබඳ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා තැන්පතු ඉල්ලූ විටෙක ආපසු ගෙවීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගෙන යා යුතුය.මේ සඳහා ඕනෑම වාණිජ බැංකුවක් තම වත්කම් වලින් කොටසක් ද්‍රවශීල වත්කම් ලෙස තබා ගනී. ඒ අනුව ද්‍රවශීලතාව වාණිජ බැංකුවක පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානම සාධකයකි.

2.ලාභදායීත්වය වර්ධනය

[සංස්කරණය]

වාණිජ බැංකු ආයෝජනයට ප්‍රමාණවත් ඉපයුමක් ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. කොටස්කරුවන්ට ප්‍රමාණවත් ගෙවීමක් කිරීමටත්, අනාගත වර්ධනයටත්, තරඟයට සාර්ථකව මුහුණ දීමටත් ප්‍රමාණවත් ලාභයක් ඉපැයිය යුතුය. මේ සඳහා වාණිජ බැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවශීල නොවන වත්කම් ලෙස තබා ගනී.

වාණිජ බැංකු ලාභ උපයන ආයතන වේ. මෙම ආයතන එදිනෙදා කටයුතු කරගෙන යාමේදී තැන්පතු මුදල් ඉල්ලූ විට ආපසු ගෙවීමට ඇති හැකියාව පවත්වා ගත යුතුය. මේ නිසා බැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවහිල වත්ක් ලෙස තබා ගනී. එහෙත් ඒවායේ ආදායම් ඉපැයීමේ හැකියාව අඩුය. ද්‍රවශීල නොවන අනෙකුත් වත්කම්වල ආදායම් ඉපැයීමේ ශක්තිය වැඩිය. නමුත් ද්‍රවශලතාව අඩුය. මේ අනුව ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය අකර ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයකි. එබැවින් වාණිජ බැංකු තම වත්කම් ව්‍යුහය සකස් කර ගැනීමේදී ලාභ ඉපැයීම හා ද්‍රවශීලතාව පවත්වා ගැනීම යන අරමුණු අතර තුලනයක් ඇති කර ගනී.

වාණිජ බැංකුවල කාර්යයන්

[සංස්කරණය]

වාණිජ බැංකු ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ මූල්‍ය අතරමැදිකරණයකි. එනම් ආර්ථිකයේ අතිරික්ත ඉතුරුම් ඒකකයන්හි සිට හිඟ ඉතුරුම් ඒකක දක්වා අරමුදග් ප්‍රවාහ ගලායාම සඳහා පහසුකම් සැලසිමකි. වාණිජ බැංකුවේ ප්‍රමුඛ කාර්යය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

  1. තැන්පතු භාර ගැනීම
  2. ණය සම්පාදනය

තැන්පතු භාර ගැනීම

[සංස්කරණය]

පහත සඳහන් ඕනෑම ආකාරයක තැන්පතු භාර ගැනීමට වාණිජ බැංකුවකට හැකිය. i.ඉල්ලුම් තැන්පතු

ii.ඉතුරුම් තැන්පතු

    • බාල වයස්කාර තැන්පතු
    • ධන ආයෝජන ගිණුම්
    • නිර්නේවාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම්
    • නේවාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම්

iii.ස්ථාවර තැන්පතු

ණය සම්පාදනය

[සංස්කරණය]

බැංකුවක පවතින තැන්පතු අරමුදල් වලින් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ඒකකයන්ට ණය සම්පාදනය කරනු ලැබේ. බොහෝවිට ණයදීම සිදුකෙරෙන්නේ සුදුසු සුරැකුම් ඇප හෝ පුද්ගල ඇප මත වේ. අයකර ගැනීමේ කාලය අනුව ණය දෙවර්ගයකි.

i.කෙටි කාලීන ණය

    • අයිරා ණය
    • කෙටි කාලීන ණය යෝජන ක්‍රම
    • අන්තර් බැංකු දෛනික රුපියල් ණය

ii.දිගු කාලීන ණය

    • ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම්
    • ව්‍යාපාර ආරම්භ කිරීම්/ දියුණු කිරීම්
    • වාණිජ අවශ්‍යතා
    • කර්මාන්ත ආරම්භ කිරීම

වාණිජ බැංකු පවත්වාගෙන යන සෙසු කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

නියෝජිත සේවා

වාණිජ බැංකු විසින් ඉතා පුළුල් පරාසයක ආයෝජන සේවා සපයනු ලැබේ. ගණුදෙනුකරුවන්ගේ නමින් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ රැස්කිරීම, බැඳුම්කර කූපන් ගැනීම්-විකිණීම් සේවා, නව ව්‍යාපාර කොටස් අයදුම්පත් පිළිබඳ කටයුතු කිරීම යනාදී ආයෝජන සේවා සපයයි. වාණිජ බැංකු සිය ගණුදෙනුකරුවන් වෙනුවෙන් චෙක්පත්, බිල්පත්, පොරොන්දු නෝට්ටු රැස්කිරීම සහ විවිධාකාර ගෙවීම් සිදුකරයි. භාරකාරත්වය ඉසිලීම, උපදේශන සේවා සැපයීමද, වෙනත් බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ගණුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීම වාණිජ බැංකු සපයන තවත් නියෝජිත සේවාවන්ය.

පොදු උපයෝගීතා සේවා

බැංකු අණකර, ණයවර ලිපි හා සංචාරක චෙක්පත් නිකුත් කිරීම, විනිමය බිල්පත් භාර ගැනීම, සුරැකුම්පත්, ස්වර්ණාභරණ, ලියකියවිලි, ඔප්පු, අන්තිම කැමති පත්‍ර, යනාදී වටිනා ද්‍රව්‍ය හා ලියවිලි ආරක්ෂා කරදීම, උකස් ණය සැපයීම හා ණය කාඩ්පත්, හර කාඩ්පත් යනාදිය නිකුත් කිරීම අයත් වේ. මීට අමතරව විදේශ විනිමය ගණුදෙනුවලට අදාල පහසුකම් සැපයීම, විදේශ වෙළඳ කටයුතු වලදී අවශ්‍ය පහසුකම් සැපයීම, තොරතුරු සේවා සැපයීමද ඉතා වැදගත් උපයෝගීතා සේවාවන් වේ.

වාණිජ බැංකු ශේෂ පත්‍රය

[සංස්කරණය]

වාණිජ බැංකුවක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වාණිජ බැංකුවේ ශේෂ පත්‍රය පරීක්‍ෂා කළ යුතුය. වාණිජ බැංකු තනිව තම බැංකුවට අදාල ශේෂ පත්‍රය පිළියෙල කරන අතර වාණිජ බැංකු පද්ධතියේම ශේෂ පත්‍ර සියල්ල එකට එකතු කිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයක් පිළියෙල කරයි. ශේෂ පත්‍රය පිරික්සීමෙන් ලාභදායීතාව රැකගැනීමට වාණිජ බැංකු ක්‍රියා කර ඇති අන්දම, මුදල් සැපයුම, මුදල් මැවීමේ හැකියාව, ද්‍රවශීලතාව ආදී කරුණු රැසක් විශ්ලේෂණය කළ හැකිය. එනම් බැංකුවේ මූල්‍ය තත්වය අවබෝධ කර ගත හැකිය.

වාණිජ බැංකු ශේෂ පත්‍රය වත්කම් සහ වගකීම් ව්‍යුහයකින් සමන්විතය. මේ අනුව ශේස පත්‍රයෙහි ප්‍රධාන අයිතම දෙකකි.

  1. වත්කම්
  2. වගකීම්

වාණිජ බැංකුවක් මූලික වශයෙන් කොටස් හිමියන්, තැන්පත්කරුවන්, සහ වෙනත් අරමුදල් සපයන්නන් ඇසුරින් අරමුදල් සම්පාදනය කර ගනී. මෙම අරමුදල් සම්පාදන ප්‍රභව සියල්ල බැංකුවේ වගකීම් වේ. එකී වගකීම් තුලින් බැංකුව ණය සැපයීම, සුරැකුම්පත් හා සංචිත රැස්කිරීම හා විවිධ වත්කම් අත්කර ගැනීම සිදුකරයි.

වාණිජ බැංකු වගකීම්

[සංස්කරණය]

බැංකුවක් සතු වගකීම් හෙවත් බැරකම් ලෙස හැඳින්වෙන්නේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට බැංකුව වෙතින් අයවිය යුතු දේ හෙවත් බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන්ට ගෙවීමට-පියවීමට ඇති දේ පිළිබඳවය.බැංකුවක මුළු වගකිම් යටතට අයත් දිගු හා කෙටිකාලීන ණය, අයිරා වැනි වගකීම් සහ කොටස් ප්‍රාග්ධනය, සංචිත වැනි හිමිකම් වගකීම් වන්නේ කෙදිනක හෝ කුමන අවස්ථාවක හෝ ඒවා හිමිකරුවන්ට සහ බාහිර පාර්ශවයන්ට ගෙවීමට සිදුවන බැවිනි. වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහය මගින් වාණිජ බැංකුවේ අරමුදල් ප්‍රභව දැක්වේ. වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහයෙහි ප්‍රධාන අයිතම පහත පරිදිය.

  1. ඉල්ලුම් තැන්පතු
  2. ඉතුරුම් හා කාලීන තැන්පතු
  3. වෙනත් ණය ගැනීම්
  4. හිමිකරුවනගේ ප්‍රාග්ධනය

වෙනත් ව්‍යාපාර ආයතන සමඟ සසඳන විට වාණිජ බැංකුවක වැදගත්ම ලක්‍ෂණය ප්‍රාග්ධනයට සාපේක්‍ෂව ණය වගකීම් ඉතාම ඉහළ වීමයි. බොහෝවිට එය 90% ද ඉක්මවා සිටී.

වාණිජ බැංකු වත්කම්

[සංස්කරණය]

වත්කම් ලෙස හැඳින්වෙන්නේ මුදල්, ගොඩනැගිලි, කාර්යාල උපකරණ හා යන්ත්‍ර-කර්මාන්තශාලා යනාදී ව්‍යාපාර ආයතනයක් සතු ඕනෑම දෙයකි. වාණිජ බැංකුවේ වත්කම් ව්‍යුහය ඉහළ ද්‍රවශීලතා වත්කමේ සිට පහළ ද්‍රවශීලතා වත්කම දක්වා පෙළ ගස්වන ලද අයිතමයන්ගෙන් සමන්විත වන අතර වාණජ බැංකු වත්කම් මගින් අරමුදල් භාවිතය දැක්වේ. වත්කම් පෙළ ගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.

1.මුදල් අයිතම

  • අතැති මුදල්
  • මහ බැංකුවේ ඇති මුදල් ශේෂ(සංචිත)
  • දේශීය බැංකුවලින් අයවිය යුතු මුදල්
  • එකතු වෙමින් පවතින මුදල් ශේෂ
  • අතැති සහ පිටරට බැංකුවලින් අයවිය යුතු විදේශීය මුදල් ශේෂ

2.ආයෝජන සුරැකුම්පත්

  • රජයේ සුරැකුම්පත්
  • අනෙකුත් සුරැකුම්පත්
  • අනෙකුත් ආයෝජන

3.ණය

  • මිලට ගත් හා වට්ටම් කළ බිල්පත්
  • ණය අයිරා
  • ණය මුදල්

4.ස්ථාවර හා අනෙකුත් වත්කම්

වාණිජ බැංකුවක් ආරම්භ කිරීමට සපුරා ලියයුතු මූලික අවශ්‍යතා

[සංස්කරණය]
  1. මහබැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වීම.(1988 අංක 30 දරන බැංකු පනත අනුව )
  2. සමාගම් පනත යටතේ සී/ස පොදු සමාගමක් ලෙස හෝ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ආයතනයක් වීම.
  3. ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් මිලියන 20000 කට නොඅඩු වීම.
  4. විදේශ සමාගමක් නම් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කළ යුතු වීම.
  5. ලියාපදිංචි ලියවිලිවල සමාගමේ මූලික පරමාර්ථය ලෙස බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහන් වීම.

ආශ්‍රිත මූලාශ්‍ර-"ස‍ටහන" ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාජ හා ආර්ථික විද්‍යා මාසිකය

"https://si.wikipedia.org/w/index.php?title=වාණිජ_බැංකු&oldid=470984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි